ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සත්‍ය කුරුඳු එහි අද්විතීය ගුණාත්මකභාවය, වර්ණය, රසය සහ සුවඳ නිසා දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ‌ඓතිහාසික සන්නාමයක් බවට පත්ව ඇත. එබැවින් දැනට ලොව විශාලතම Pure Ceylon Cinnamon හෙවත් සුපිරිසිදු කුරුඳු නිෂ්පාදකයා සහ අපනයනකරුවා වීමට අද වන විට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. එපමණක් නොව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයටත්, ජන ජීවිතයේ පැවැත්මටත් කුරුඳු කර්මාන්තයෙන් ලැබෙන්නාවූ දායකත්වය අතිමහත්ය.

කුරුඳු කර්මාන්තයේ වටිනාකම

ශ්‍රී ලාංකේය කුරුඳු කර්මාන්තය ගත් කල ඒ හා බැඳි උද්භිද විද්‍යාත්මක, භෞතික සහ රසායනික ගුණාංග, වගා කිරීම, අස්වනු ලබා ගැනීම සහ සකස් කිරීමේ තාක්ෂණය යන සෑම පැතිකඩක්ම ඊටම ආවේණික වූත්, සුවිශේෂී වූත් ගති ලක්ෂණ හා සංස්කෘතියකින් යුක්ත වේ. මෙම සංස්කෘතික වටිනාකම් ලෝකයට නිරාවරණය වී නොමැති අතර නවීන තාක්ෂණය සමග මෙම සංස්කෘතික අංග ඒකාබද්ධ කිරීමෙන් කුරුඳු කර්මාන්තය උදෙසා නව අගය එකතු කිරීමක් හා ප්‍රවර්ධනය කිරීමක් සලසා ගත හැකිය.

Cinnamon Gate ව්‍යාපෘතිය

එබැවින් ජාතික මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකේය සත්‍ය කුරුඳු සන්නාමය ප්‍රචලිත කිරීම හා ප්‍රවර්ධනය මූලික අරමුණ කොටගෙන ගාල්ල පින්නදූව අධිවේගී පිවිසුමට ආසන්නයේ Cinnamon Gate නමින් කුරුඳු උද්‍යානයක් පිහිටුවීමට 2020 වර්ෂයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් කටයුතු ආරම්භ කරන ලද අතර කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ස්ථාපනය කිරීමෙන් අනතුරුව මේ වන විට මෙම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා මෙහෙයවීම මත Cinnamon Gate ව්‍යාපෘතියේ වැඩ කටයුතු සිදුවෙමින් පවතී.

ව්‍යාපෘති අරමුණු

මෙම කුරුඳු උද්‍යානයෙන් කුරුඳු ක්ෂේත්‍රය හා බැඳි සංස්කෘතික තාක්ෂණය සජීවී අත්දැකීම් දෙස් විදෙස් නරඹන්නන් හට ලබා දීම, දේශීය කුරුඳු කර්මාන්තයේ අගයදාමයේ නියුතු පාර්ශවකරුවන්ට සෘජු හා වක්‍ර ප්‍රතිලාභ හා වෙළඳපොළ අවස්ථා උදා කරදීම, නව රැකියා අවස්ථා ජනනය වැනි පරමාර්ථ රැසක් ලඟා කරගැනීමට අපේක්ෂා කෙරේ. එසේම ශ්‍රී ලංකාවට ආවේණික වූ මෙම සුවිශේෂී ශාකය හා ඒකාබද්ධව දැනුම හා අවබෝධය නරඹන්නන් හට ලබාදිය හැකි ආකාරයෙන් “Agro-Tourism” සංකල්පය යටතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ තවත් සුවිශේෂී අරමුණකි.

Cinnamon Gate උද්‍යානයේ අංග

මෙම උද්‍යානය පහත අංග වලින් සමන්විතවනු ඇත:

  • කුරුඳු සම්බන්ධ, පරිපාලනමය, උද්භිද විද්‍යාත්මක, සංස්කෘතිමය ඉතිහාසය දැක්වෙන ආදර්ශ කෞතුකාගාරය
  • දේශීය කුරුඳු වන දර්ශක සහ වගා දර්ශක වලින් යුත් නැරඹුම් උද්‍යානය
  • වාණිජමය වශයෙන් කරනු ලබන ආදර්ශ කුරුඳු වගා බිම
  • කුරුඳු හා සම්බන්ධ ලිපි පොත්පත් කියවීමේ සහ මිලදී ගැනීමේ අංශය
  • කුරුඳු සැකසීම හා බැඳි තාක්ෂණය පෙන්නුම් කරන සහ සජීවී අත්දැකීම ලබා ගත හැකි ආදර්ශ කුරුඳු සැකසුම් හා අගය එකතු කිරීමේ මධ්‍යස්ථානය
  • විවිධ දේශීය කුරුඳු නිෂ්පාදන එකම වහළකින් මිලදී ගත හැකි ස්ථානය (One stop shop)
  • කුරුඳු මිශ්‍රිත ආහාර සහ පාන වර්ග රස බැලිය හැකි අවන්හල
  • කුරුඳු කර්මාන්තය ආශ්‍රිත ඉගෙනුම් මධ්‍යස්ථානය

මෙම අංග සියල්ල එකට එක් කරමින්, Cinnamon Gate ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තය සම්බන්ධයෙන් ලෝකයට නව අරුතක් හා ප්‍රවර්ධන මගක් පිරිනමන තැනක් වනු ඇත.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact