සාර්ථක කුරුඳු වගාවක මුලික පදනම ගුණාත්මයෙන් යුතු කුරුඳු පැලයක් සිටුවා ගැනීමයි. කුරුඳු පැල නිෂ්පාදනය බිජ මගින් සහ වර්ධක ප්‍රචාරණය මගින් සිදු කරනු ලබයි. බිජ මගින් ප්‍රචාරණය මින් වඩා ලාබදායි සහ පහසුම ක්‍රමය ලෙස බහුලව භාවිත කරයි

බීජ මගින් ප්‍රචාරණය 
  • කුරුඳු බීජ ප්‍රධාන වශයෙන් වසරකට වරක් ලබා ගත හැක (ජුනි – ජූලි). 
  • බීජ මගින් ප්‍රචාරණය සිදු කිරීමේදී ක්ෂේත්‍රයේ සිටුවීමට ඉහල ගුණාත්මයෙන් යුතු බීජ පැල බඳුනක් ලබා ගැනීමට පදනම් වන්නේ මූලිකව තවානක් සැකසීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීම, බීජ ලබා ගැනීම සඳහා සුදුසු මව් ශාඛ තෝරා ගැනීම සහ සුදුසු ගෙඩි සහ බීජ තෝරා ගැනීම, බීජ සිටුවීම සඳහා සුදුසු බඳුන් සහ බඳුන් මිශ්‍රණ තෝරා ගැනීම, සහ නිසි තවාන් කළමනාකරණ කටයුතු සිදු කිරීමයි.  
තවානක් සැකසීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීම           

කුරුඳු සූර්යාලෝකය ප්‍රිය කරන ශාඛයක් වන හෙයින් හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක් තෝරාගත යුතුය. එමෙන්ම මනාව ජලය බැසයන, බොහෝ දුරට සමතලා භූමියක් වීම, ජල සැපයුමක් සහිත ස්ථානයක් වීම, සහ පැල ප්‍රවාහනය සඳහා පහසුකම් සහිත ස්ථානයක් වීම  නම් වඩා සුදුසුවේ.  අවට පරිසරය කුරුඳු පළිබෝධ සහ රෝගකාරක වලින් තොර වීම නිරෝගී තවාන් පැළ බඳුනක් ලබා ගැනීම සඳහා වැදගත්වේ.

තවානක් සැකසීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීම           

කුරුඳු සූර්යාලෝකය ප්‍රිය කරන ශාඛයක් වන හෙයින් හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක් තෝරාගත යුතුය. එමෙන්ම මනාව ජලය බැසයන, බොහෝ දුරට සමතලා භූමියක් වීම, ජල සැපයුමක් සහිත ස්ථානයක් වීම, සහ පැල ප්‍රවාහනය සඳහා පහසුකම් සහිත ස්ථානයක් වීම  නම් වඩා සුදුසුවේ.  අවට පරිසරය කුරුඳු පළිබෝධ සහ රෝගකාරක වලින් තොර වීම නිරෝගී තවාන් පැළ බඳුනක් ලබා ගැනීම සඳහා වැදගත්වේ.

ගුණාත්මක බීජ තෝරා ගැනීම හා ප්‍රරෝහණය  

වැඩි දිරියෙන් යුතු කුරුඳු පැල නිෂ්පාදනය සඳහා ඉහල ගුණාත්මයෙන් යුතු බීජ තෝරා ගැනීම සහ සාර්ථක ප්‍රරෝහණය සහතික කිරීම ඉතා වැදගත් වේ.

  • ගුණාත්මක බීජ තෝරා ගැනීම:
    හොඳින් ඉදී දම් පැහැයට හැරුණු විශාලත්වයෙන් වැඩි කුරුඳු ගෙඩි නෙලා ගැනීම මගින් ඒකාකාර වර්ධනයක් සහිත නිරෝගී පැල බඳුනක් ලබාගත හැකි වේ. 
  • බීජ සකස් කිරීම:

නෙලාගත් පසු සිටුවීමට පෙර ගෙඩි වල ඵලාවරණය ඉවත් කර පිරිසිදු ජලයෙන් සෝදා ගැනීම කල යුතුය. සෝදාගත් බිජ දින දෙක තුනක් හිරු එලියට නිරාවරණය නොවන වාතාශ්‍රය සහිත පිරිසිදු ස්ථානයක උපස්තරයක් මත අතුරා පවනේ වියළා ගැනීම මගින් සති 2ක් පමණ කාලයක් බිජ තවාන් දමන තෙක් ජීව්‍යතාවය ආරක්ෂා වන පරිදි බීජ තබාගත හැකි වේ. දිගු කලක් ගබඩා කර තැබීමෙන් ජීව්‍යතාවය ක්‍රමයෙන් අඩු වේ. එම නිසා බීජ සේදීමෙන් පසු හැකි ඉක්මණින් තවාන් කිරීමෙන් වැඩි ජීව්‍යතාවයක් රැකගත හැකිය. 

තවාන් බඳුන් සකස් කිරීම 

කුරුඳු පැළවල ප්‍රශස්ත වර්ධනය සහතික කිරීම සඳහා, තවාන් බඳුන් නිසි ලෙස සකස් කිරීම අත්‍යවශ්‍ය වේ:

  •  නිර්දේශිත බඳුනේ විශාලත්වය: නිර්දේශිත බඳුනේ විශාලත්වය සෙ. මී. 20 × 12.5 (අඟල් 8 × 5) වේ.මෙම බඳුන් මාස 6ක තවාන් කාලය තුල සාර්ථක පැළ වර්ධනයක් සඳහා ප්‍රමානවත්වේ. 
  • බඳුන් සාදන ද්‍රව්‍ය තේරීම : බඳුනට හානියක් නොවන සේ මාස 6 ක පමණ කාලයක් බීජ පැල තවානේ තබා ගැනීමට ගේජ් 250 ඝනකම කළු පොලිතින් භාවිතා කර බඳුන් සකසා ගැනීම සුදුසුවේ. 


ජලාපවහන සිදුරු සැදීම : බඳුනේ තෙතමනය ආරක්ෂා වීම සඳහා සහ මුදුන් මුල පොලවට සම්බන්ධ වීම වැලකෙන සේ පතුලේ සිට සෙ. මී 5 ක් පමණ ඉහළින් සිදුරු 4 ක් සැදීම කල යුතුය.

තවාන් බඳුන් මාධ්‍ය මිශ්‍රණය
  • තවාන් බඳුන් මාධ්‍ය මිශ්‍රණය: නිර්දේශිත බඳුන් මිශ්‍රණය භාවිතා කිරීම මගින් තවාන් කාලය තුළ පොහොර යෙදීමකින් තොරව ඉහළ ගුණාත්මයෙන් යුත් බීජ පැළ ලබාගත හැකිය.
  • තවාන් බඳුන් මිශ්‍රණය සැකසීම: තවාන් බඳුන් මිශ්‍රණය සැදීමේදී එක එක සංඝටකය වෙන වෙනම සල්ලඩයක් මගින් හලාගෙන පසුව සමාකාරව මිශ්‍ර කර සාදාගනු ලැබේ. 
  • නිර්දේශිත බඳුන් මිශ්‍රණය වන්නේ

මතුපිට පස්

කොහුබත්

වැලි

වියළි දිරූ ගොම

කොටස් 1

කොටස් 1

කොටස් 1

කොටස් 1

  • මෙම සමතුලිත මිශ්‍රණය අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයන අතර තවාන් වල කුරුඳු පැළ සඳහා ප්‍රශස්ත වර්ධන තත්ත්වයන් ප්‍රවර්ධනය කරයි.

 

විකල්ප තවාන් මාධ්‍යයන් 

නිර්දේශිත බඳුන් මිශ්‍රණයේ අඩංගු සංඝටක සෑම කුරුඳු තවාන් ඇති ප්‍රදේශ වලදීම පහසුවෙන් සපයා ගත නොහැකි විය හැක. එසේම ඇතැම් ප්‍රදේශ වල මෙම සංඝටකවල මිල ඉතා අධික වේ. මෙවැනි අවස්ථා වලදී යොදා ගත හැකි විකල්ප බඳුන් මාධ්‍යයන් දෙකක් ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු ආයතනය මගින් හඳුන්වා දී ඇත. 

  1. විකල්ප තවාන් මාධ්‍යය 1:යටිපස් කියුබ් 1 : DAP (ඩයි ඇමෝනියම් පොස්පේට්) කි. ග්‍රෑම්. 4
  2. විකල්ප තවාන් මාධ්‍යය 2: 

යටිපස් කොටස් 9 : කර දහයියා කොටස් 1 (පරිමාව අනුව) එකතු කර බඳුන් මිශ්‍රණය සාදා ගත යුතුවේ. 

– මෙම විකල්ප බඳුන් මිශ්‍රණයේ (විකල්ප තවාන් මාධ්‍යය 2) බීජ සිටුවා මාසයකට පසු පහත සඳහන් පොහොර නිර්දේශය යෙදීම ආරම්භ කරයි. 

  • බිජ සිටුවා මාස 4 ක් යනතෙක් පහතින් දක්වා ඇති පොහොර මිශ්‍රණය (T65-MAP තේ පොහොර) ග්‍රෑම් 7ක් ජලය ලීටර එකක දියකර ලීටර එකක් පැළ බඳුන් 25 කට වනසේ  සති දෙකකට වරක් යෙදීම කලයුතු වේ.

  N

P2O5

K2O

MgO

10.9

10.8

11.1

3.4

  • මාස 4 සිට T65-MAP තේ පොහොර ග්‍රෑම් 14 ක් ජලය ලීටර එකක දියකර ලීටර එකක් පැළ බඳුන් 25 කට වනසේ  සති දෙකකට වරක් යෙදීම කලයුතු වේ.

මෙම විකල්ප තවාන් බඳුන් මාධ්‍යයන්  මනා  වර්ධන මාධ්‍යයක් නිර්මාණය කිරීම සඳහා සුදුසු විකල්පයන් වන අතර, කුරුඳු පැළ තවාන් අවධියේදී ප්‍රමාණවත් පෝෂණයක් සහ අවශ්‍ය තත්වයන් ලබා දෙන බව සහතික කරයි.

 

බඳුන් පිරවීම, තවාන සකස් කර ගැනීම
  • බඳුන් පිරවීම: තවාන් මිශ්‍රණයෙන් පොලිතින් බඳුන් පුරවා ගැනීමේ දී බඳුනේ ඉහළ සිට සෙ.මි. 2 ක් පමණ ඉතිරිවන සේ පිරවිය යුතු වේ. බඳුන් පිරවීමේදී මුලින් බඳුනෙන් අඩක් පුරවා එය හොඳින් පොලවට තට්ටුකර බඳුන් මිශ්‍රණය හොදින් ස්ථාවර කර ඉන් පසු ඉතිරි කොටස පිරවීම සිදු කරයි. 
  • තවාන සකස් කර ගැනීම: තවාන සකස් කර ගැනීමේදී තවාන තුල සිදු කෙරෙන කළමනාකරණ කටයුතු වලට පහසු වන පරිදි තවාන් ව්‍යුහය සහ බඳුන් ඇසිරීම කල යුතුය. 
බීජ පැළ කිරීම
  • බීජ බඳුන් ගත කිරීම: එක බඳුනක කුරුඳු බීජ 8-10 ක් සමාකාරව තැන්පත් කොට තවාන් බඳුන් මිශ්‍රණය හෝ තුනී පස් ස්ථරයකින් (සෙ. මී. 0.5 ක) වැසිය යුතුය. ඉන්පසු කොහුබත් වැනි වසුනකින් ආවරණය කිරීම වඩාත් සුදුසු වේ. මේ මගින් තෙතමනය ආරක්ෂා වීම මෙන්ම ජල සම්පාදනයේදී කුරුඳු බීජ මතුපිටට නිරාවරණය වීම වලක්වයි.
  • බීජ ප්‍රරෝහණය : බීජ සිටුවා සති දෙකකින් පමණ නිරෝගී බීජ ප්‍රරෝහණය වීම දැකගත හැකිය.
තවාන් කළමනාකරණය
  • සෙවන: බීජ සිටුවා මාස 2 ක පමණ කාලයක් අඩි 2ක් පමණ ඉහළින් තාවකාලික සෙවණ සැපයීම කළ යුතුය. ඉන්පසු ක්‍රමයෙන් සූර්යලෝකයට හුරු කර ඉතිරි තවාන් කාලය තුලදී සම්පූර්ණයෙන්ම සූර්යාලෝකයට නිරාවරණය විය යුතුය. නමුත් අධික වියලි කාල වලදී අවශ්‍යතාවය අනුව සෙවණ සැපයීම සිදුකල යුතුවේ. 
  • ජල සම්පාදනය: ජල සම්පාදනය අවශ්‍ය පරිදි සිදුකල යුතු අතර විශේෂයෙන් පැල කුඩා අවදියේදී මේ පිලිබඳ වඩා සැලකිලිමත් විය යුතුය. තවාන් සඳහා ප්‍රමාණවත් ජල සැපයුමක් සිදු නොවීම පැලවල වර්ධනය අඩු වීමට ප්‍රධානව බලපායි.   
  • රෝග පළිබෝධ හානි: තවාන තුල රෝග පළිබෝධ හානි පිලිබඳ නිතර සැලකිලිමත් විය යුතු අතර එවැනි අවස්ථා හඳුනාගතහොත් මුලික අවස්ථාවේදීම එම තත්ත්ව පාලනය සඳහා අවශ්‍ය පියවර ගත යුතුය.   
  • ක්ෂේත්‍ර ස්ථාපනය :බීජ සිටුවා මාස 4-6ක කාලයකින් ක්ෂේත්‍රයේ සංස්ථාපනය කළ හැක. 
  • දිගු තවාන් කාලය: බීජ පැල මාස හයකට වඩා වැඩි කාලයක් තවාන් තුළ රැඳී සිටීමට නම්, තෙතමනය රඳවා තබා ගැනීම සහ ප්‍රශස්ත වර්ධනය වන තත්ත්වයන් පවත්වා ගැනීම සඳහා තවාන් බිම මත පොලිතින්අතුරනයක් යෙදීම සුදුසුවේ. 

වැඩි ගුනාත්මයක් සහ වැඩි දිරියකින් යුතු නිරෝගී පැල බඳුනක් ක්ෂේත්‍රයේ සිටුවීමට සදා ගැනීමට මුලික පදනම වන්නේ ඉහත සඳහන් තවාන් කළමනාකරණ කටයුතු ක්‍රමවත්ව සහ නියමිත අවස්තාවන් වලදී සිදු කිරීමයි.

ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු පැළ බඳුනක තිබිය යුතු ලක්ෂණ

කුරුඳු බීජ පැල සාර්ථකව වගා කිරීම සහතික කිරීම සඳහා, සිටුවීමට සුදුසු පැළ බඳුනක පහත ලක්ෂණ පෙන්නුම් කිරීම අත්‍යවශ්‍ය වේ:

  • බඳුනේ වයස: කුරුඳු පැල ක්ෂේත්‍රයේ සාර්ථකව වර්ධනය වීම සඳහා පැල බඳුනක වයස මාස 4 ඉක්මවා තිබිය යුතුය.  
  • බඳුනකට පැල ගණන: සෑම බඳුනකම හොඳින් වැඩුණු පැල 5-8ක් අතර ප්‍රමාණයක් අඩංගු විය යුතුය. මෙමගින්  ක්ෂේත්‍ර ස්ථාපනයෙන් පසු ක්ෂේත්‍රය ආවරණය වනසේ වගාවේ නියමිත පැල ඝනත්වයක් පවත්වාගත හැකිවන අතර ඒකාකාර අස්වැන්නක් ලබා ගැනීමට හැකිවේ. 
  • පැල උස: පැල බඳුනේ ඉහල මට්ටමේ සිට ආසන්න වශයෙන් 15 cm (අඟල් 6) පමණ උසකට පැල වර්ධනය වී තිබිය යුතුය. මෙමගින් පැල ක්ෂේත්‍ර ස්ථාපනය සඳහා ප්‍රමාණවත් තරම් දිරියකින් සහ ශක්තිමත් මූල පද්ධතියක් වර්ධනය වී ඇති බව පෙන්නුම් කරයි.  
  • පත්‍ර වලයන්: සෑම පැලයකම හොඳින් වැඩුණු පත්‍ර වලයන් තුනක් හෝ හතරක් වර්ධනය වී තිබිය යුතුය. මෙමගින් පැල දිරියෙන් යුතු වර්ධනයක් සහ ක්ෂේත්‍ර පරිසරයට අනුවර්තනය වීමට ඇති හැකියාව පෙන්නුම් කරයි.
  • නිරෝගී බව: ශාක රෝග හා කෘමි හානිවලින් තොර විය යුතුය. මෙය පැල ක්ෂේත්‍ර ස්ථාපනයෙන් පසු ශාක ශක්තිමත්ව සහ පරිසරයට ඔරොත්තු දෙන පරිදි වර්ධනය වීමට ඇති හැකියාව සහතික කරයි.
  • බඳුන තුල බීජ පැල වල ව්‍යාප්තිය. : තවාන් අවධියේදී බඳුන පුරා සමාකාරව විසිරෙන සේ බීජ සිටුවිය යුතුය. මෙමගින් පැල වලට සමාකාර පෝෂණයක් සහ වර්ධනයට අවකාශයක් ලබා ගත හැකි අතර පැල වල ඒකාකාර වර්ධනයක් ඇති කරයි.  
  • පැල බඳුනේ ශක්තිමත් බව : පුර්ණ තවාන් කාලය තුලම පොලිතීන් බඳුන හානි නොවී තිබිය යුතුය. මෙමගින් තවාන් කාලය තුල පැල වල සෞඛ්‍ය සම්පන්න මුල් මෙන්ම පැලයේ වර්ධනය සහතික වන අතර  උසස් ගුණාත්මයෙන් යුතු පැල බඳුනක් ක්ෂේත්‍ර ස්ථාපනය සඳහා ලබා ගැනීමට හැකිවේ. 
  • මුදුන් මුල වර්ධනය : පැලවල මුදුන් මුල බඳුනෙන් පිටතට වැඩී නොතිබිය යුතුය. මෙමගින් ,  තවාන් තුලදී  පැල නිසි ලෙස කළමනාකරණය කර ඇති බව පෙන්නුම් කරන අතර ක්ෂේත්‍ර ස්ථාපනය සඳහා සුදුසු අවස්තාව පෙන්නුම් කරයි. 

මෙම ලක්ෂණ සහිත කුරුඳු පැල බඳුනක් ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු ඉහල ගුණාත්මයෙන් යුතු පැල බඳුනක් ලෙස හඳුනා ගත හැකි අතර මෙවැනි බඳුනක් ක්ෂේත්‍රයේ සිටුවීමෙන් පාරිසරික තත්ව වලට හොඳින් ඔරොත්තු දෙන නිරෝගී කුරුඳු වගාවක් ලබා ගැනීම සහතික කරයි.

වර්ධක ප්‍රචාරණය

කුරුඳු පරපරාගී ශාකයකි. එනිසා බීජ පැල වල රූප විද්‍යාත්මක ලක්ෂණ, අස්වැන්න, තෙල් ප්‍රතිශතය සහ ඒවායේ ගුණාත්මකභාවය එකිනෙකට වෙනස් වේ.  එමනිසා එක සමාන ලක්ෂණ සහිත පැල ලබාගැනීමට මෙන්ම තෝරාගත් උසස් ගුණාත්මකභාවයේ මව් ශාක ප්‍රචාරණය කිරීම සඳහා වර්ධන ප්‍රචාරණ ක්‍රම භාවිතා කිරීම ඉතා වැදගත්වේ.  කුරුඳු සඳහා අතු කැබලි මගින් වර්ධක ප්‍රචාරණය මේ සඳහා හඳුන්වා දී ඇත. මෙමගින් තෝරාගත් උසස් තත්ත්වයෙන් යුත් මව් ශාක වල උසස් ගති ලක්ෂණ එනම් ඒකාකාර වර්ධනයක්, විභව අස්වැන්නක්, සගන්ධ ෙතල් අන්තර්ගතය වැනි ලක්ෂණ  සහිත සමාකාර  වගාවක් පවත්වා ගැනීමට වගාකරුවන්ට හැකියාව ලැබෙන  අතර  එමගින් කුරුඳු වගාවේ  අනාගත විභවය පිලිබඳ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය වැඩිදියුණු කල හැකිවේ. 

දඩු කැබලි තෝරා ගැනීම

කුරුඳු සඳහා සාර්ථකම වර්ධක ප්‍රචාරණ ක්‍රමය වනුයේ පඳුරේ පාදස්ථයෙන් ඍජුව කෙලින් වැඩෙන අඩ දළ දඬු (semi hard wood) වලින් ලබා ගත් සක්‍රිය පාර්ශ්වික අංකුර සහිත අතු කැබලි යොදා ගැනීමයි.

තෝරාගත් මව් ශාක වලින් අතු කපන විට, අතුවල ජිව්‍යතාවය පවත්වා ගැනීම සඳහා නිර්දේශිත තාක්ෂණික ක්‍රම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ:

  1. කාලය සහ මෙවලම්: වියලීම මගින් වන ආතතිය වැලැක්වීම සඳහා අතු කැබලි උදෑසනම කපා ගැනීම සිදු කල යුතුය. මේ සඳහා  පිරිසිදු, මුවහත් තලයක් භාවිතා කර  පඳුරට හානියක් නොවන සේ දඬු කොටස් කපා ගැනීම සිදු කරයි. 
  2. දඬු කොටස් ප්‍රවාහනය: කපන ලද වහාම අතු කොටස් වියළීම වැළැක්වීම සදහා එම අතු කොටස් ජල බඳුනකට බහා තවාන වෙත රැගෙන යාම සිදුකළ යුතුය.
  3. රිකිලි සිටුවීමට සූදානම් කිරීම: දඬු කැබලි වලින් අඟල් දෙකක් පමණ දිග එක පත්‍රයක් සහ සක්‍රිය අංකුරයක් සහිත රිකිලි කොටස් කපා ගැනීම සිදු කල යුතුය. මෙම ඉතිරි කරන පත්‍රය සාර්ථක පැලයක් ලබා ගැනීම සඳහා ප්‍රභාසංශ්ලේෂණයට සහ රෝපණය කළ පසු මුල් වර්ධනයට ඉතා වැදගත් වේ.
  4. රිකිලි කොටස් සජලිකරණය: රිකිලි කැබලි සිටුවීමට සූදානම් වන තුරු ජලයේ ගිල්වා තබන්න. මෙමගින් රිකිලි වියලීම වලක්වන අතර මුල මණ්ඩලය වර්ධනය වීම උත්තේජනය කරයි. .

මෙම මාර්ගෝපදේශ පිළිපැදීමෙන්, වගාකරුවන්ට කුරුඳු රිකිලි කැබලි හරහා සාර්ථකව අතු පැල නිෂ්පාදනය කරගත හැකි අතර එමගින් ඒකාකාර වර්ධනයක් සහ උසස් ගුණාත්මක ලක්ෂණ සහිත පැල ලබා ගත  හැකිවේ.

තවාන් සකස් කිරීම සහ සිටුවීම

සාර්ථක අතු පැල නිෂ්පාදනයක් සඳහා අනුගමනය කලයුතු තීරණාත්මක පියවර කිහිපයක් ඇතුළත් වේ:

  • තවාන් සැකසුම: සෙවණ 60-70% සහිත තවාන් ගෘහයක් තුල ඇති, තාවකාලිකව සාදාගත් පොලිතීන් ගෘහයක්/ ප්‍රොපගේටරයක් (ගේජ් 500 විනිවිද පෙනෙන පොලිතින් මගින්) තුල කුරුඳු අතු පැල සඳහා තවාන සකස් කරයි
  • බඳුන් මිශ්‍රණය: අතු පැල සිටුවීම සඳහා ද බීජ පැළ සඳහා නිර්දේශිත බඳුන් මිශ්‍රණයම භාවිතා කරන අතර බඳුන පිරවීමේදී බඳුනෙහි සම්පුර්ණ උසටම වනසේ පිරවීම සිදුකර අතු කැබලි සිටුවීමට පෙර බඳුන් හොඳින් ජලය යොදා බඳුන් මිශ්‍රණය තදව (compact) සිටින සේ අතින් තද කර සාදා ගත යුතුය.
  • රෝපණ දඩු කැබලි: එක බඳුනක අතු කැබලි 2 ක් හෝ 3 ක් සිටුවීම සිදු කරයි. අතු කැබලි සිටුවීම බඳුන තුල එක පේලියට පත්‍ර එක දිශාවකට විහිදෙන සේ සිදු කල යුතුය. බඳුන් තවාන තුළ තැන්පත් කිරීමේදී එක් පත්‍රයකින් අනෙක් දඬු කැබලි වල අංකුරය නොවැසෙන සේ තැබිය යුතුය. (පත්‍ර විශාල නම් පත්‍රයෙන් 1/3ක් හෝ 1/2ක් කපා ඉවත් කරන්න.)
  • ජලය දැමීම සහ පෙර ප්‍රතිකාර: අතු කැබලි සිටුවීමෙන් පසුත් නැවත බඳුන් වලට හොඳින් ජලය සැපයීම සිදුකර ඉන් පසු ටෙබුකොනසොල් අඩංගු දිලීර නාශකයක් අතු කැබලි හොඳින් තෙමෙන සේ යෙදීමෙන් පසු පොලිතීන් ගෘහයේ පොලිතීන් ආවරණය  පස් යොදාගෙන බාහිර පරිසරයට නිරාවරණය නොවන සේ මුද්‍රා තැබිය යුතුය. මෙමගින් ගෘහය තුල තෙතමනය ආරක්ෂා වන අතර අතු කැබළි වියළීම වළක්වා ගනියි.  
  • කළමනාකරණය: අතු කැබලි සිටුවා සති 4ක් දී ප්‍රොපගේටරය පළමු විවෘත කිරීම සිදු කරන අතර වල් පැළ ඇත්නම් නම් ඒවා ගැලවීම සිදුකොට ජලය යෙදීමෙන් පසු නැවතත් සීල් කිරීම සිදුකරයි. මෙසේ නැවත සති 6 සහ 8 දී ප්‍රොපගේටරය විවෘත කරනු ලබන අතර සති 10 දී  විවෘත කිරීමෙන් පසු ප්‍රොපගේටරය නැවත සීල් නොකරයි.
  • ක්ෂේත්‍රයට හුරු කිරීම: ඉන්පසු පැළ ක්‍රමයෙන් පරිසරයට හුරු කිරීම සඳහා දැඩි කිරීම සිදුකළ යුතුය. මේ සඳහා තවාන තුලදීම පැල බාහිර පරිසරයට නිරාවරණය වන කාලය ක්‍රමයෙන් වැඩි කරන අතර මාස 4 කදී පමණ තවානෙන් ඉවතට ගැනීම සිදු කරයි.
  • පැල සිටුවීම: මාස 6 කදී පැළ ක්ෂේත්‍රයේ ස්ථාපනය කළ හැකිවේ. පැල ප්‍රවාහනයේදී සහ හැසිරවීමේදී බඳුන් වලට හානි නොවනසේ සිදු කිරීමෙන් ක්ෂේත්‍ර ස්ථාපනයෙන් පසු පැල මිය යෑම අවම කරගත හැකිවේ. 

මෙම පියවරයන් නිසිලෙස අනුගමනය කිරීමෙන්, වගාකරුවන්ට රිකිලි කැබලි හරහා කුරුඳු ප්‍රචාරණය කිරීම සාර්ථකත්ව සිදුකරගත හැකිවේ. එමගින් අනාගතයේ සුදුසු ලක්ෂණ සහ ඒකාකාරී වර්ධනයක් සහිත කුරුඳු වගාවන් ඈති කිරීමට අවශ්‍ය පැල නිෂ්පාදනය කර ගත හැකිවේ. 

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact