කුරුඳු වගාවේ ගොවිපල දත්ත කළමනාකරණය

හැඳින්වීම

යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහතිකය (GAP) සහ භූගෝලීය දර්ශක (GI) සහතික ලබා ගැනීමට අපේක්ෂා කරන කුරුඳු ගොවීන් සඳහා ඵලදායී ගොවිපල දත්ත කළමනාකරණය අත්‍යවශ්‍ය වේ. තවද නිවැරදි වාර්තා පවත්වා ගැනීමෙන් සහ යහපත් භාවිතයන්ට අනුගත වීමෙන් ගොවීන්ට ඵලදායිතාව, තිරසාරභාවය සහ ආදායම වැඩි දියුණු කළ හැකිය. එබැවින් වර්තමානය වන විට සෑම ගොවිපළකම යාවත්කාලීන වන දත්ත පද්ධතියක් පවත්වාගැනීම ඉතා වැදගත් .එහිදී ගොවිපොළ පිළිබඳව පහත දත්ත පවත්වාගත යුතු .

ගොවිපල සිතියම

ඵලදායී ගොවිපල කළමනාකරණය සඳහා සවිස්තරාත්මක ගොවිපල සිතියමක් නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ. සිතියමේ පහත අංග ඇතුළත් විය යුතුය.

  • ක්ෂේත්‍ර මායිම්: ක්ෂේත්‍ර හෝ බිම් කොටස්වල මායිම් පැහැදිලිව සලකුණු කරන්න.
  • රෝපණ ප්‍රදේශ: කුරුඳු රෝපණය කරන ලද ප්‍රදේශ දක්වන්න. වෙනත් බෝග වගා කර ඇත්නම් ඒවා සටහන් කරන්න.
  • වාරිමාර්ග පද්ධති: ජල මූලාශ්‍ර සහ බෙදාහැරීමේ මාර්ග ඇතුළුව වාරිමාර්ග පද්ධතිවල සැකැස්ම පෙන්වන්න.
  • යටිතල පහසුකම්: ගොඩනැගිලි, ගබඩා පහසුකම්, සැකසුම් ඒකක සහ වෙනත් යටිතල පහසුකම් වල ස්ථාන සලකුණු කරන්න.
  • මාර්ග: ගොවිපොළ තුළට පිවිසෙන, බැහැර වෙන සහ ගොවිපොළ තුළ ඇති මාර්ග සළකුණු කරන්න.
  • පාරිසරික ලක්ෂණ: ගංගා, පොකුණු හෝ වනාන්තර ප්‍රදේශ වැනි ස්වාභාවික ලක්ෂණ තිබේ නම් ඇතුළත් කරන්න.
  • ගොවිපොළට මායිම් වන ක්ෂේත්‍ර හා ඒවායේ භාවිත සළකුණු කරන්න.
  •  
ඉතිහාස වාර්තා

දිගුකාලීන ප්රවණතා අවබෝධ කර ගැනීම සහ දැනුවත් තීරණ ගැනීම සඳහා ඔබේ ගොවිපලේ ඉතිහාසය පිළිබඳව දත්ත පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

  • ගොවිපල පිහිටුවීම: පිහිටුවන ලද වර්ෂය, ආරම්භක ඉඩම් තත්වය සහ ආරම්භක ආයෝජන ලේඛනගත කිරීම.
  • හිමිකාරිත්වය සහ කළමනාකරණ වෙනස්කම්: කාලයත් සමඟ හිමිකාරිත්වයේ හෝ කළමනාකරණයේ ඕනෑම වෙනසක් වාර්තා කරන්න.
  • ප්‍රධාන සිදුවීම්: ස්වාභාවික ආපදා, ප්‍රධාන ප්‍රතිසංස්කරණ හෝ ගොවිතැන් ක්‍රමවේද වෙනස්කම් වැනි සැලකිය යුතු සිදුවීම් සටහන් කරන්න.
ඉඩම් සකස් කිරීම
  • බිම් සැකසීම ආරම්භ කිරීමට පෙර භූමියේ තත්ත්වය හා භාවිතාව සටහන් කරගන්න.
  • බිම් සැකසීම සඳහා යොදාගත් ක්‍රම, කාලසීමාවන් ඇතුළු වැදගත් කරුණු සටහන් තබාගන්න.
  • පාංශු pH අගය තීරණය කිරීම සඳහා පාංශු පරීක්ෂණයක් සිදුකරවාගෙන වාර්තා සටහන් කරගන්න.
රෝපණ ද්‍රව්‍ය පිළිබඳව දත්ත 

රෝපණ ද්‍රව්‍යය සපයාගත් ආකාරය, ප්‍රදේශය, තවානකින් මිලදී ගත්තේ නම් තවාන පිළිබඳව තොරතුරු, ලියාපදිංචි තවානක් යන වග, පැළ සහතික කර ඇති යන වග, පැළ ලබාගත් කාල සීමාව, ප්‍රවාහනය කළ ආකාරය ඇතුළු වැදගත් දත්ත සටහන් කරගන්න.

බෝග කළමනාකරණය
  •  සිටුවීම: කුරුඳු පැළ සිටුවීමේ දිනයන්, පරතරය සහ වැදගත් කරුණු වාර්තා සටහන් කරගන්න.
  • පෝෂක කළමනාකරණය: විවිධ අවධි වල භාවිතා කළ පොහොර වර්ග, ප්‍රමාණ සහ කාල සීමාවන් සටහන් කරගන්න.
  • පළිබෝධ හා රෝග පාලනය: පළිබෝධ හා රෝග පිළිබඳ වාර්තා ගත සිදුවීම්, පාලනය සඳහා භාවිතා කරන ක්‍රම, රසායනික ද්‍රව්‍ය භාවිතා කළේ නම් යොදගත් අනුපාත සහ භාවිත කළ ප්‍රමාණ සටහන් කරන්න.
  • ජල සම්පාදනය:
    • වාරිමාර්ග කාලසටහන්, ක්‍රම සහ ජල ප්‍රභව පිළිබඳව තොරතුරු සටහන් කරන්න.
    • ජල ප්‍රභවයේ ගුණාත්මක භාවය පිළිබඳව වාර්තා ලබාගෙන තබාගැනීම සහ වාර්තා වලට අදාලව කටයුතු කිරීම ඉතා සුදුසු .
  • නුහුරු පෑහීම, වල් මර්ධනය, අතු බැඳීම ඇතුළු අනෙකුත් ගොවිපළ කළමනාකරණ කටයුතු: එක් එක් කටයුතු සිදු කළ දිනයන්, භාවිතා කළ ශිල්පීය ක්‍රම ඇතුළුව සෑම නඩත්තු කටයුත්තක් පිළිබඳවම සටහන් තබාගන්න.
    •  
අස්වනු නෙලීම
  • අස්වනු නෙළන දිනයන්: කුරුඳු අස්වැන්න නෙළන දිනයන් සටහන් කරන්න.
  • අස්වැන්න: අස්වැන්න මැන බලා වාර්තා කරන්න. කුරුඳු කැපූ ආකාර, ‍යොදවා ගත් පුද්ගලයින් පිළිබඳ විස්තර, භාවිතා කළ උපකරණ, කුරුඳු කෝටු ප්‍රවාහනය කළ ආකාරය ඇතුළු වැදගත් තොරතුරු සටහන් කරගන්න.
සැකසුම් සහ ගබඩා කිරීම
  • සැකසුම්:
    • කුරුඳු සැකසීම සඳහා භාවිතා කරන ක්‍රම සටහන් කරන්න.
    • භාවිතා කරන ලද ඕනෑම යන්ත්‍රෝපකරණ හෝ මෙවලම් පිළිබඳව සහ ඒවායේ නඩත්තු කාලසටහන් පිළිබඳව සටහන් කරන්න.
  • ගබඩා කිරීම:
    • උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය ඇතුළුව ගබඩා තත්ත්ව පිළිබඳ තොරතුරු ලේඛනගත කරන්න.
විකුණුම් සහ අලෙවිකරණය
  • නිෂ්පාදන ඇසුරුම්: අවසාන නිෂ්පාදනයට යොදන වෙළඳ නාමයක් හෝ ලේබල් කිරීමක් ඇත්නම් සටහන් කරන්න.
  • ගැනුම්කරුවන්ගේ තොරතුරු: එක් එක් ගැනුම්කරුගේ තොරතුරු, අලෙවි කළ කුරුඳු ප්‍රමාණ, වර්ග, අලෙවි කළ දින සටහන් තබාගන්න. බිල්පත් අමුණා තබාගැනීම වැදගත් වේ
  • ගැනුම්කරුවන්ගේ ප්‍රතිචාර:
    • ගැනුම්කරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳ සටහන් තබාගන්න.
    • නිෂ්පාදන ගුණාත්මකභාවය හෝ අලෙවිකරණ උපායමාර්ග වැඩි දියුණු කිරීම සඳහා ඉහත ප්‍රතිචාර මත පදනම්ව කරන ලද ඕනෑම ගැලපීමක් සටහන් කරන්න.
මූල්‍ය කළමනාකරණය
  • වියදම්: යෙදවුම්, ශ්‍රමය සහ උපකරණ ඇතුළු ගොවිපල ආශ්‍රිත සියලු වියදම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තා තබා ගන්න.
  • ආදායම: කුරුඳු සහ අනෙකුත් ගොවිපල නිෂ්පාදන විකිණීමෙන් ලැබෙන ආදායම සටහන්  කරන්න.
  • ලාභදායිතාව විශ්ලේෂණය:
    • ගොවිපලේ මුල්‍ය කාර්යසාධනය නිතිපතා විශ්ලේෂණය කරන්න.
    • ලාභදායිතාව වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ඕනෑම වෙනස්කමක් සටහන් කරන්න.
මානව සම්පත් කළමනාකරණය
  • ගොවිපොළ සේවකයින් පිළිබඳව වාර්තා, ඔවුන්ට ලබාදුන් පුහුණු, සෞඛ්‍ය වාර්තා, වෙන්කර ඇති රාජකාරි ඇතුළුව වැදගත් දත්ත සටහන් තබාගන්න

ඔබේ පහසුව පරිදි දත්ත ගබඩා කර ගැනීම සඳහා අත් පොත්, ලොග් සටහන්, පරිගණක මෘදුකාංග, ජංගම දුරකතන මෘදුකාංග වැනි ක්‍රමවේදයක් භාවිතා කළ හැකිය. දත්ත නිතිපතා යාවත්කාලීන කරන බවට වගබලා ගැනීම අත්‍යවශ්‍ය වේ.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact