හැඳින්වීම

කුරදු වගා ක්ෂේත්‍රයකින් ලැබෙන අස්වැන්න, ඉන් ලබාගත හැකි උපරිම විභව අස්වැන්නට වඩා බොහෝ සෙයින් අඩුවීමට රෝග හා පළිබෝධ නිසා සිදුවන අස්වනු හානියද සැලකිය යුතු ලෙස හේතු වේ. නිසිලෙස දැනුවත් වීමෙන් මෙම රෝග හා පලිබෝධ තත්ත්ව ඒවායේ මුල් අවධියේදීම හඳුනා ගැනීමට හැකි වන අතර නිර්දේශිත පාලන ක්‍රම අනුගමනය කිරීමෙන් ඉන් ඇතිවිය හැකි ආර්ථික හානිය අවම කර ගත හැක. මේ යටතේ කෘෂි රසායනික ද්‍රව්‍යයන් සහ යහපත් ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් ඒකාබද්ධව යොදා ගත හැකි වේ. 

කුරුඳු වගාවේ රෝග
පොත්ත රළු වීමේ රෝගය (Pestalotiopsis, Phomopsis, Colletotrichum සහ Botryodiplodia විශේෂ) 
  • පොත්ත රළු වීමේ රෝගය ශ්‍රී ලංකාවේ කුරුඳු වගා කරන සෑම ප්‍රදේශයකම පාහේ ව්‍යාප්ත වී ඇත. කුරුඳු ගසේ නොමේරූ පොත්තට වැළඳෙන දිලීර රෝගී තත්ත්වයකි.

පරිණත කඳන් වල පවතින දික් පැළුම් සහිත ස්වභාවය හේතුවෙන් මෙම තත්ත්වය ගොරහැඩි යන නමින් ද හැඳින්වේ. මේ නිසා කුරුඳු පොතු සැකසීම අපහසු වන අතර සැකසු පොතු වල ගුණාත්මක භාවය ද අඩුවේ. නමුත් මෙම රෝගයට අමතරව නිසි කලට අස්වැන්න නෙලීමට නොහැකි වීම හේතුවෙන් ද මෙබඳු පොත්තේ ගොරහැඩි තත්ත්ව ඇතිවීමට හැකිය.

පාලනය
  • මාස 3 කට වරක් නුහුරු පෑහීම
  • රෝගී අතු ඉති කපා ක්ෂේත්‍රයෙන් ඉවත්කර පිළිස්සීම
  • නිවැරදි පාංශු පෝෂක කළමනාකරණය
  • කෙටි කාලාන්තර වලින් අස්වනු නෙලීම (මාස 6 න් හෝ 4 න්) 
  • සෑම නුහුරු පෑහීමක් අවසානයේම රෝගය ඇත්නම් 1% බෝඩෝ මිශ්‍රණය හෝ වෙනත් තඹ අඩංගු දිලීර නාශකයක් යෙදීම හෝ
  • ටෙබුකොනසෝල් (ලීටරයට ග්‍රෑම් 250) අඩංගු දිලීර නාශකයක මිලි ලීටර් 10 ක් ජලය ලීටර් 10 ක දියකර සාදාගත් මිශ්‍රණය ආරම්භක රෝග ලක්ෂණ සහිත කඳන් මතට දියර ඉසිනයක් ආධාරයෙන් ඉසීම

 

පත්‍ර අංගමාරය – (Colletotrichum දිලීර විශේෂ)

කුරුඳු පත්‍ර අංගමාරය නැතහොත් කොළ අංගමාරය ලෙස හැඳින්වෙන රෝග තත්ත්වය කුරුඳු ශාකයේ සෑම අවධියකදීම පාහේ දක්නට ලැබේ. නමුත් මෙම රෝගය ආර්ථික හානිදායක මට්ටමට ලඟා වනුයේ බොහෝවිට තවාන් හෝ පැළ අවධියේදීයි. රෝගය වැසි කාලයේදී උග්‍ර වන අතර වියළි කාලයේ දී පැතිරීම අඩුය.

පාලනය
  • සෙවණ කළමනාකරණය: ශාක අවට ආර්ද්‍රතා මට්ටම අඩු කිරීම සඳහා සෙවන නිසි ලෙස කළමනාකරණය කිරීම.
  • රෝගී පැළ වෙන් කිරීම: රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ආසාදිත බීජ පැල වෙනම තබා ගැනීම.
  • දිලීරනාශක යෙදීම:
  • 1% බෝඩෝ මිශ්‍රණය හෝ තඹ අඩංගු දිලීර නාශකයක් හෝ 
  • හෙක්සකොනසෝල් (සක්‍රීය දුව්‍ය ලීටරයට ග්‍රෑම් 50) අඩංගු දිලීරනාශකයක මිලි ලීටර්  20 ක් ජලය ලීටර් 10 ක දියකර සාදාගත් ද්‍රාවණයක් හෝ 
  • ටෙබුකොනසෝල් (සක්‍රීය දුව්‍ය ලීටරයට ග්‍රෑම් 250) අඩංගු දිලීරනාශකයක මිලි ලීටර්  5 ක් ජලය ලීටර් 10 ක දියකර සාදාගත් ද්‍රාවණයක් ඉසීම. 
  • පරිණත වගාවක දී මෙම රෝගී තත්ත්වය නිසා විශාල ආර්ථික හානියක් සිදු නොවන බැවින් දිලීරනාශක යෙදීම අත්‍යාවශ්‍ය නොවන අතර නුහුරු පෑහීම සහ අනවශ්‍ය සෙවන ඉවත් කිරීම පමණක් සෑහේ.

 

සුදු මුල් රෝගය – (Rigidoporus microporus රෝගකාරක දිලීරය)

කලින් රබර් වගා කළ ඉඩම් වල ඇති කුරුඳු වගා වල හෝ රබර් වගාව ආශ්‍රිතව ඇති කුරුඳු ඉඩම් වල මෙම දිලීර රෝගය බහුලව දැකිය හැක. 

පාලනය
  • ප්‍රශස්ථ පාංශු තෙතමනය පවත්වා ගැනීම: වියළි කාලවලදී ප්‍රශස්ථ ලෙස ජල සම්පාදනය සිදු කිරීම
  • ආසාදිත ගස් උදුරා දැමීම සහ පුළුස්සා දැමීම: තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ආසාදිත ගස් ඉවත් කර ඒවායේ මුල් සමඟ උදුරා පිළිස්සීම.
  • ඉතිරි මුල් වලට ප්‍රතිකර්ම කිරීම: පඳුරේ ඉතිරි මුල් අඟල් 4 ක් පමණ ගැඹුරට නිරාවරණය කොට ටෙබුකොනසෝල් (ලීටරයට ග්‍රෑම් 250)  අඩංගු දිලීරනාශකයක මිලි ලීටර් 10 ක් ජලය ලීටර් 10 ක දියකර සාදාගත් ද්‍රාවණයක් යොදා පැය භාගයකින් පමණ පසුව පස් වලින් වැසීම. අවට පඳුරු වලට ද එම ප්‍රතිකර්මය යෙදීම නිර්දේශ කෙරේ.
  • හානිය පවතින ප්‍රදේශ හුදකලා කිරීම: සුදු මුල් රෝගය අධික ලෙස ව්‍යාප්ත වී පවතින බවට හඳුනාගත් ක්ෂේත්‍රයේ ප්‍රදේශ අනෙක් ප්‍රදේශ වලින් වෙන් කිරීම සඳහා කාණු යෙදීම 
  • පෙර වගාවේ ඉතිරි කොටස් ඉවත් කිරීම: වගාව සඳහා බිම් සැකසීමේදී පෙර පැවති වගාවේ මුල් ‍ කොටස් ක්ෂේත්‍රයේ  ඉතිරි නොකොට ඉවත් කිරිම.
  • අධි අවදානම් ප්‍රදේශවල රෝග වැළැක්වීමේ පියවර: කලින් රබර් වගා කළ ඉඩම් වල කුරුඳු වගා කරන විට හෝ රබර් වගාව ආශ්‍රිතව ඇති ඉඩම් වල කුරුඳු වගා කරන විට පැළ සිටුවීමට සතියකට පෙර එම වලවල්වලට ගෙන්දගම් කුඩු ග්‍රෑම් 10ක් බැගින්  යොදා පස සමග මිශ්‍ර කිරීම.

 

දුඹුරු මුල් කුණුවීමේ රෝගය – (Phellinus noxius රෝගකාරක දිලීරය)

මෙම දිලීර රෝගයේ බාහිර රෝග ලක්ෂණ බොහෝ දුරට සුදු මුල් රෝගයට සමාන වුවත් මූල පද්ධතිය පරීක්ෂා කිරීමෙන් නිශ්චිත ලෙස හඳුනාගත හැකිය. මෙහි ආසාදිත මුල් දුඹුරු පැහැයක් ගන්නා අතර ඒවායේ වැලි / පස් තට්ටුවක් ඇලී තිබීම සුවිශේෂී ලක්ෂණයකි. තවද මුල් මතුපිට  සුදු මුල් රෝගයේදී මෙන්, ඝන සුදු පැහැති රෝග කාරක දිලීර සූත්‍රිකා දැකිය නොහැකිය. ඒ වෙනුවට මෘදු වූ කුරුඳු මුල විනිවිද යන, පිට පොත්තට ඇතුලතින් ඇති පැහැදිලි, දුඹුරු පැහැති රේඛා රටා නිරීක්ෂණය කළ හැකි වේ. පැළ අවධිය සහ පරිණත වගාවේදී බහුලව හමුවේ. සෙවණ සහිත, ජලවහනය දුර්වල පසෙහි මෙම හානිය තරමක් වැඩිය.

පාලනය
  • සෙවණ කළමනාකරණය.
  • පසෙහි ජලවහනය දියුණු කිරීම සඳහා නිසි පරතර වලින් කාණු යෙදීම.
  • රෝගී කඳන් මුල් සමඟ උදුරා පිළිස්සීම සහ පඳුරේ ඉතිරි මුල් අඟල් 4 ක් ගැඹුරට නිරාවරණය කොට ටෙබුකොනසෝල් (ලීටරයට ග්‍රෑම් 250)  අඩංගු දිලීරනාශකයක මිලි ලීටර් 10 ක් ජලය ලීටර් 10 ක දියකර සාදාගත් ද්‍රාවණයක් යොදා පැය භාගයකින් පමණ පසුව පස් වලින් වැසීම.
  • රෝගී පඳුර අවට පඳුරුවලට ද එම ප්‍රතිකර්මය යෙදීම.

 

කඳ පිළිකා

මෙම තත්වයට නිශ්චිත හේතුවක් මේ දක්වා අනාවරණය වී නැත. කුරුඳු කඳන් වල කැම්බියමේ තැනින් තැන සිදු වූ හානි නිසා කුරුඳු කඳන් ද්වීතීයික වර්ධන අවස්ථාවට පත්වන විට එම ස්ථාන වල සෛල වර්ධනය අක්‍රමවත් වී කඳ පිළිකා බවට පත්වන බව පිලිගැනීමයි. කුරුඳු කඳන් මේරීමත් සමඟ කඳ පිළිකා විශාල වී එම ස්ථාන වලින් පොතු ගැලවීම අපහසු වන අතර කුරුඳු පොත්තේ ගුණාත්මකභාවයට පැහැදිලි ලෙසම හානි ඇති කරන තත්ත්වයකි. නයිට්‍රජන් අඩංගු පොහොර නියමිත අනුපාතයට වඩා යොදන අවස්ථාවලදී කඳ පිළිකා තත්ත්ව බහුල වශයෙන් වාර්තා වෙයි.

පාලනය 
  • පොහොර නිර්දේශිත ප්‍රමාණය පමණක් යෙදීම.
  • අස්වැන්න නියමිත අවස්ථාවේදී නෙලා ගැනීම (කඳන් අනවශ්‍ය ලෙස මේරිමට ඉඩ නොහැරීම).
  • ක්ෂේත්‍රය තුල මනා ස්වස්ථතාවයක් පවත්වා ගැනීම.

 

ගෙඩි ඉදිමීමේ රෝගය – (Exobasidium cinnamomi

මෙම දිලීර රෝගය නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාලවූත් විකෘතිවූත් ගෙඩි කුරුඳු ශාකයේ හට ගනී. රතු දුඹුරු දිලීර බීජානු බීජ මත විසිරුනු විට ඒවා ද රතු දුඹුරු පැහැයෙන් දිස් වේ. රෝගී ගස්වලින් පොත්ත ගැලවීම ද අපහසු වේ. මෙය එතරම් පැතිරුණු  රෝගයක් නොවේ. 

Infected cinnamon fruits covered with reddish-brown spores.

පාලනය
  • මූලික අවස්ථාවේ දී රෝගී ගෙඩි සහිත අතු ඉවත් කිරීම මගින් රෝගය පාලනය කල හැක.
 
කළු පිටි පුස් රෝගය – (Stenella විශේෂ) 

සෙවණෙහි වැඩෙන කුරුඳු වගාවේ දී මෙම රෝගය බහුලව හමුවේ. මෙය පත්‍ර මතුපිට පමණක් සුදු, අළු හෝ කළු පුල්ලි ලෙසට පැතිරෙන දිලීරයක් නිසා හටගන්නා අතර වගාවට ආර්ථික හානියක් සිදු නොවේ. 

Appearance of White, Gray, or Black Spots on Leaf Surface

පාලනය
  • සෙවණ ඉවත් කිරීම මගින් රෝගය පාලනය කළ හැක

 

ඇල්ගී පත්‍ර ලප ඇතිවීම – (Cephaleuros virescens)

කහ, තැඹිලි හෝ දුඹුරු පැහැ කුඩා ලප වශයෙන් කුරුඳු පත්‍ර මත පැතිරෙන හරිත ඇල්ගාවකි. මෙම රෝගය නිසි අයුරින් නඩත්තු නොවන කුරුඳු ඉඩම් වල කලාතුරකින් දැකිය හැකිය. ආර්ථිකව වැදගත් වන රෝගයක් නොවේ. 

Algae leaf spots

කුරුඳු වගාවේ පළිබෝධ හානි


රෝස කඳ පණුවා – (Ichneumoniptera cinnamomumi)

කුරුඳු වගාවට ඉතාම හානිකර පළිබෝධකයා වන්නේ කුරුඳු කඳ විදින සළබයා හෙවත් රෝස කඳ පණුවායි. වැඩුණු සළබයා විසින් පරිණත කුරුඳු කඳන් වල පාමුල තැම්පත් කරන බිත්තර වලින් පිටවන රෝස කඳ පණුවාගේ කීටයා පඳුරේ පාමුල පොත්තේ සිට අරටුව දක්වා පටක කොටස් ආහාරයට ගැනීම නිසා පරිණත කඳන් කඩා වැටෙන අතර මෙම හානිය කුරුඳු පදුරේ දිගටම පැවතිය හොත් වසර කීපයක් ගත වනවිට හානි වූ ප්‍රදේශය සම්පුර්ණයෙන්ම දිරා යාමත් එම ස්ථාන වලින් අලුත් රිකිලි පැන නොනැගීමත් සිදුවිය හැක. රෝස කඳ පණුවාගේ කීටයා කුරුඳු ක‍‍ඳේ ඇතුළත ප්‍රදේශය ආහාරයට ගනිමින් පිටකරන බහිශ්‍රාවී අපද්‍රව්‍ය දුඹුරු පාට කුඩු ලෙස හානි වූ ස්ථාන වල  දැකිය හැකිය. තවද පරිණත කුරුඳු කඳන් වල හානි වූ ස්ථානයට ඉහළින් වර්ධක මුල් හටගැනීම මෙම හානියේ තවත් සුවිශේෂි ලක්ෂණයකි.

පාලනය 
  • පාදස්ථය පුළුල් වන විට සහ සි‍ටුවා වසර තුනක් පමන ගත වන විට ආරම්භයේදීම කුරුඳු පාදස්ථය පස්වලින් ආවරණය කිරීමෙන් මෙම හානිය පහසුවෙන් මර්ධනය කරගැනීම සහ පැතිරීම වළක්වා ගත හැක. 
  • බෑවුම් ඉඩමක නම් පස් වළින් ආවරණය කිරීම අපහසු විය හැක. එවිට පාදස්ථය හුඹස් මැටි මිශ්‍රණයකින් අඟල් 2ක පමණ ගණකමට ආවරණය කළ හැක.
  • නිසි කාලයේදී අස්වැන්න නෙළීම, පස සෝදාගෙන යාම වැලැක්වීම, නිරන්තරයෙන් කුරුඳු වගාව පිළිබඳ අවධානය යොමු කිරීම මඟින් මෙම හානිය අවම කළ හැක.

 

කුරුඳු පත්‍ර ගැටිති 

පත්‍ර ගැටිති ඇති කරන පැළ උකුණාගේ හානිය –  (Trioza cinnamomi

පැළ උකුණා ළපටි කුරුඳු පත්‍රවල උඩු පැත්තේ ගැටිති ඇති කරයි. අලුතින් සාදන ලද ගැටිති රෝස පාට වර්ණයක් ගන්නා අතර පත්‍ර මෝරන විට ඒවා කොළ පැහැයට හැරේ. එක් ගැටිත්තක් තුළ එක් පැළ උකුණෙකු පමණක් යුෂ උරා බොමින් ජීවත් වේ. තෙත් සිසිල් කාලවලදී මෙම හානිය වැඩි පුර දැකිය හැකි අතර තවාන් සහ පැළ අවධිවල වඩාත් බහුල තත්ත්වයකි.

පාලනය 

  • පත්‍ර ගැටිති සහිත කොල කඩා පිළිස්සීම සහ නුහුරු පෑහීම මගින් හානිය තරමක්දුරට පාලනය කල හැක. 
  • හානිය ඉතා අධික නම් ඇබමැක්ටීන් (ලීටරයට ග්‍රෑම් 18) කෘමි නාශකයෙන් මිලි ලීටර් 10 ක් (තේ හැඳි දෙකක්)  ජලය ලීටර් 16 ක දියර ඉසින ටැංකියකට දියකර සදාගත් මිශ්‍රණය පඳුර සම්පුර්ණයෙන් තෙමී යනසේ පැතලි අවාන් නොසලයක් (flat fan nozzle) මගින් ඉසීම.
  • පළිබෝධක හානිය ආරම්භවන ළපටි පත්‍ර අවදියේදී කෘමි නාශක ඉසීම මෙම හානිය පාලනය කිරීමට සුදුසුම අවධියයි.
  •  
පත්‍ර ගැටිති ඇති කරන මයිටාවන් – (Eriophyes boisi

මයිටාවන් නිසා කුරුඳු පත්‍රයේ යටි පැත්තේ ගැටිති ඇති වීම සිදුවේ. බිත්තර දැමීමෙන් පසු ඇතිවන ශිශුවන් විසින් ළපටි පත්‍ර වල යුෂ උරා බීමෙන් හටගන්නා අක්‍රමවත් විශාල ගැටිති නිසා මෙම හානිය ඇති වේ. තවාන්, ළපටි පැළ සහ අංකුර අවධියේදී දළුවලට සැළකිය යුතු හානියක් සිදු කරයි. තෙත් සිසිල් කාලවලදී මෙම හානිය වැඩිපුර දැකිය හැකියි.

පාලනය 
  • පත්‍ර ගැටිති සහිත කොල කඩා පිළිස්සීම සහ නුහුරු පෑහීම මගින් හානිය තරමක් දුරට පාලනය කලහැක. 
  • හානිය අධික නම් ඇබමැක්ටීන් (ලීටරයට ග්‍රෑම් 18) කෘමි නාශකයෙන් මිලි ලීටර් 10 ක් (තේ හැඳි දෙකක්) ජලය ලීටර් 16 ක එනම් දියර ඉසින ටැංකියකට දියකර සදාගත් මිශ්‍රණය පඳුර සම්පුර්ණයෙන් තෙමී යනසේ පැතලි අවාන් නොසලයක් (flat fan nozzle) මගින් ඉසීම මගින් මෙම පළිබෝධකයා සාර්ථකව පාලනය කිරීම කළ හැක.  
 
පැළ මැක්කාගේ හානිය (Helionothrips annosus)

පැළ මැක්කාගේ සුහුඹුලා සහ ශිශු අවස්ථා නොමේරූ පත්‍ර වල යුෂ උරා බීම නිසා පත්‍ර අග්‍රස්ථ කොටස් පිළිස්සුණු කළු පැහැති ස්වභාවයක් ගනියි. හානි වූ පත්‍ර වල යටි පැත්තේ හිරු එළියට දිලිසෙන කුඩා ලප මෙන් පැළ මැක්කන්ගේ අපද්‍රව්‍ය දැකිය හැක. හානිය දරුණු විට පත්‍ර හැලීම, අග්‍රස්ථ කොටස් හා අංකුර මිය යාම, වර්ධනය නොවූ අංකුර රාශියක් හටගැනීම හෝ සමහර විට සම්පුර්ණ ශාකයම මිය යාම සිදුවිය හැක.

පාලනය 
  • ආරම්භක අවධියේදී හානි වූ කොළ කඩා විනාශ කිරීමෙන් හානිය පාලනය කළ හැක.
  • හානිය දරුණු නම් ඉමිඩක්ලෝප්‍රිඩ් (ලීටරයට ග්‍රෑම් 200) අඩංගු කෘමි නාශකයකින් මිලි ලීටර් 15 ක්  (මේස හැඳි එකක්)  ජලය ලීටර් 16 ක දියර ඉසින ටැංකියකට දියකර පඳුර සම්පුර්ණයෙන් තෙමී යනසේ පැතලි අවාන් නොසලයක් (flat fan nozzle) මගින් ඉසීම සිදුකල යුතුය. 
  • පළිබෝධ හානිය ආරම්භවන ළපටි පත්‍ර අවදියේදී කෘමි නාශක ඉසීම මෙම හානිය පාලනය කිරීමට සුදුසුම අවධියයි. 
  • අධික ලෙස හානියට ලක් වී සහ අධික පැළ මැක්කන් ගහනයක් සිටින පැළ නිරෝගී පැළ ආසන්නයෙහි තැබීමෙන් වැලකිය යුතුයි.

 

පත්‍ර කනින්නාගේ හානිය – (Acrocercops විශේෂ)

පත්‍රකනින සළබයාගේ කීට අවධිය කුරුඳු ශාකයේ ළපටි පත්‍ර වල උඩු හා යටි අපිචර්ම අතර මාංසල කොටස් කා දමමින් උමං තනයි. බොහෝ විට මෙම හානිය පැළතවාන්වල සහ කුරුඳු පැළ වගාවේ ළපටි පත්‍ර වල දැකිය හැකි කෘමි හානියකි. 

පාලනය 
  • හානිය සුළු වශයෙන් පවතින විට හානිවූ පත්‍ර කඩා ඉවත්කර පිළිස්සීම. 
  • හානිය දරුණු නම් ඉමිඩක්ලෝප්‍රිඩ් (ලීටරයට ග්‍රෑම් 200) අඩංගු කෘමි නාශකයකින් මිලි ලීටර් 10 ක් (තේ හැඳි දෙකක්) ජලය ලීටර් 10 ක දියකර කුරුඳු පැළ සම්පුර්ණයෙන් තෙමී යනසේ පැතලි අවාන් නොසලයක් (flat fan nozzle) මගින් ඉසීම නිර්දේශ කෙරේ. 

 

කම්බිලි පණුවා

පස තුළ වාසය කරන කම්බිලි පණුවන් කුරුඳු ශාකවල මුල් ආහාරයට ගැනීම නිසා කුරුඳු පැළ මැරී යයි. මෙම හානිය නිසා වයස අවුරුදු එකේ සිට තුන දක්වා ළපටි කුරුඳු පැළ  මැරී යාම නිසා කුරුඳු වගාවට සැළකිය යුතු හානියක් සිදුවේ. වැඩුනු කුරුඳු පඳුරු කම්බිලි පණු හානියට ප්‍රතිරෝධයක් දක්වයි.

පාලනය 
  • හානිය බහුලව ඇති විට ක්ෂේත්‍රයේ සම්පුර්ණ වල් නෙලීම (clean weeding) නොකළ යුතුය. එයට හේතුව අනෙකුත් මුල් නොමැති වීම නිසා කම්බිලි පණුවා කුරුඳු මුල් මතම යැපීමෙන් හානිය දරුණු වන බැවිනි.
  • කුරුඳු පැළ සිටුවීමේදී වලවල් වලට කොහුබත්, පොල් ලෙලි වැනි දෑ යෙදීමෙන් වැලකීම.
  •  මෙහිදී, ක්ලෝරැන්ට්‍රිනිලිප්‍රෝල් බර අනුව 20% (Chlorantraniliprole 20%)  සහ තයමෙතොක්සාන් බර අනුව 20% (Thiamethoxam 20%) ක් අඩංගු කෘමිනාශකයක ග්‍රෑම් 5ක් ජලය ලීටර් 16 ක දියකර, කුරුඳු පැළයේ මූල පද්ධතිය සහ ආශ්‍රිත පස හොදින් තෙමී යන සේ යෙදීම සිදු කළ හැක.

 

කුරුඳු පත්‍ර කන දළඹුවන් 

කුරුඳු පැළ වල ළපටි පත්‍ර ආහාරයට ගන්නා දළඹු විශේෂ රාශියක් දැකිය හැකි අතර, විශාල හානියක් නොකරයි.

පාලනය 
  • දළඹුවන්ගේ හානිය කළමනාකරණය සඳහා අතින්  එකතුකර ඉවත් කිරීම සහ කාර්යක්ෂම ක්‍රමවේදයක් අනුගමනය කරමින් කීටයන් විනාශ කිරීම.



කඳ විදින ගුල්ලාගේ හානිය  (Alcipes clauses) 

ළපටි කඳ සිදුරුකොට එහි බිත්තර දමයි. කීට හා පරිණත අවස්ථා වලදී ළපටි ක‍ඳේ කොටස් ආහාරයට ගනී. පිළා අවධිය ළපටි කඳ තුලම ගත කරයි. අවසානයේ ළපටි අග්‍රස්ථ අංකුරය මිය යයි.

පාලනය 
  • අතින් ඉවත් කිරීම:  එකතු කර සුහුඹුලා ඉවත් කිරීම.
  • කප්පාදුව හා ගිනි තැබීම: පළිබෝධකයාගේ ව්‍යාප්තිය පාලනය සඳහා හානි කල අතු කපා ගිනි තැබීම.
  • සංස්ථානික කෘමිනාශක භාවිතය: බහුලව ඇතිවිට නිර්දේශිත ප්‍රමාණ වලින් සංස්ථානික කෘමිනාශකයක් යෙදීම.

 

පත්‍ර කැදලි තනන්නා 

වැඩුණු කුරුඳු පඳුරු වල පත්‍ර ‍රැසක් එක් කොට කැදැල්ලක් වැනි ව්‍යුහයක් සාදා එතුළ කීටයන් ‍රැසක් වර්ධනය වේ. 

පාලනය
  • අතින් එකතුකර ඉවත් කිරීම: කීටයන්ගේ ගහනය පාලනය කිරිම සඳහා එම කැදලි අතින් කඩා කීටයන් ඉවත් කිරීම සිදු කළ හැක.

 

පෘෂ්ඨවංශික පළිබෝධකයින් 

කුරුඳු අස්වනු නෙලීමෙන් පසු හට ගන්නා ළපටි අංකුර පෘෂ්ඨ වංශික පළිබෝධකයින් වන ඕලු මුවා, මීමින්නා, ඌරු මීයා, ගෝනා, ලේනා, මොණරා වැනි සතුන් විසින් ආහාරයට ගැනීම නිසා කුරුඳු ශාකයේ සෘජු කඳන් වර්ධනය දුර්වල වේ

පාලනය 
  • කුරුඳු කැපු පසු හටගන්නා කුරුඳු  ළපටි අංකුර, කුරුඳු කැපීමේදී ඉවත් කරනු ලබන කුරුඳු අතු ඉති මගින් ආවරණය කිරීම 
  • එම ළපටි අංකුර මතට ජලය ලීටර දහයකට අමු ගොම කිලෝ ග්‍රෑම් එකක් මිශ්‍ර කොට සදා ගත් තනුක ගොම ද්‍රාවණයක් හෝ සැර ගන්ධයන් සහිත කෘමි නාශකයක් ඉසීම මගින් පෘෂ්ඨ වංශික පළිබෝධකයින්ගේ හානිය තරමක් දුරට වලක්වා ගත හැක. 
  • තවද මෙම හානිය වලක්වා ගැනීමට ඉඩම් වටා වැටවල් බැඳීම, ඉටි කොළ පටි ඇදීම, ටකය, දිය හොල්මන වැනි ශබ්ද නිපදවන උපකරණ යොදාගැනීම, විදුලි වැටවල් යෙදීම සහ රතිඤ්ඤා දැමීම වැනි උපකුම භාවිතා කල හැක.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact