ශ්‍රී ලංකා කුරුඳු සඳහා භූගෝලීය දර්ශක (GI) සහතිකය ලබා ගැනීම (10)

GI සහතික කිරීම යනු නිෂ්පාදනයක් යම් නිශ්චිත ස්ථානයකින් ආරම්භ වන බව හඳුනා ගන්නා බුද්ධිමය දේපල අයිතියක් වන අතර එහිදී එහි ගුණාත්මකභාවය, කීර්තිය හෝ වෙනත් ලක්ෂණ එහි භූගෝලීය සම්භවයට සම්බන්ධ කරයිමෙම සහතිකය මඟින් වෙළඳපොළ වටිනාකම ඉහළ නැංවීම, නිෂ්පාදන වල අනුරේඛීයතාවය සහතික කිරීම සහ ශ්‍රී ලංකාවේ කුරුඳු වගාව හා සම්බන්ධ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා දායකත්වය ලබාදෙයි

මෙහිදී කුරුඳු තවාන් ශිල්පීන්ගේ සිට අපනයන කරුවන් දක්වා වන කුරුඳු අගයදාමයේ සියලුම පුරුක් සඳහා GI සහතිකය ලබාගතහැකිය. එමගින් GI සහතිකකරණය කරන ලද නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කළ හැකිය

GI සහතිකය ලබාගත හැකි කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන
  • කැපූ කුරුඳු
  • කුරුඳු කුඩු 
  • කුරුඳු කොළ තෙල් 
  • කුරුඳු පොතු තෙල් 

 

GI සහතික කිරීමේ ප්‍රතිලාභ
  1. වෙළඳපල පිළිගැනීම: තරඟකාරී වෙළඳපොළ තුළ සහතිකකරණය කළ කුරුඳු නිෂ්පාදන සඳහා වැඩි කැමැත්තක් හා ඉල්ලුමක් ඇති කරයි.
  2. වෙළඳපොළ මිල ඉහළයාම: සහතික කළ නිෂ්පාදන වලට ඒවායේ පිළිගත් ගුණාත්මකභාවය සහ අනුරේඛීයතාවය හේතුවෙන් ඉහළ මිලක් නියම කළ හැකිය.
  3. අනිසි භාවිතයට එරෙහිව ආරක්ෂාව: GI සහතිකකරණය ඔබේ නිෂ්පාදනය නම අනුකරණය කිරීමෙන් සහ අනිසි ලෙස භාවිතා කිරීමෙන් නීත්‍යානුකූලව ආරක්ෂා කරයි.
  4. සංස්කෘතික උරුමය: ශ්‍රී ලාංකීය කුරුඳු වගාව හා බැඳුණු සම්ප්‍රදායික දැනුම හා සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කරයි.

 

ශ්‍රී ලංකා කුරුඳු පිළිබඳ භූගෝලීය දර්ශක සංගමය සහ දිස්ත්‍රික් මට්ටමේ සංගම්වල කාර්යභාරය

ශ්‍රී ලංකා කුරුඳු පිළිබඳ භූගෝලීය දර්ශක සංගමය (CCPGIA) දිස්ත්‍රික් මට්ටමේ සංගම් සමඟ ඒකාබද්ධව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය සහ අදාල අනෙකුත් ආයතන සංගම් සමඟ එක්ව GI සහතිකය ලබා ගැනීම සහ පවත්වා ගැනීම සඳහා ගොවීන්ට සහාය වීම සඳහා කටයුතු කරයි. ගොවීන් ලියාපදිංචි කර ගැනීම, අදාළ ආයතන ඒකාබද්ධ කරගනිමින් පුහුණු වැඩසටහන් පැවැත්වීම, අභ්‍යන්තර විගණනය සිදු කිරීම ඇතුළු ප්‍රධාන පියවර බොහෝමයක වගකීම මෙම සංගමය සතු වේ.

GI සහතිකය ලබාගන්නේ කෙසේද

  • ලියාපදිංචිය

දිස්ත්‍රික් භූගෝලීය දර්ශක සංගමයේ ලියාපදිංචි වීම සඳහා අදාල ඉල්ලුම්පත්‍රය ඔබේ දිස්ත්‍රික්කයේ භූගෝලීය දර්ශක සංගමය වෙතින් ලබාගත හැකිය. සංගමයේ උපදෙස් පරිදි ඉල්ලුම්පත්‍රය නිවැරදිව සම්පූර්ණ කර සංගමය වෙත භාරදෙන්න.

  • ප්‍රමිතීන්ට අනුකූල වීම

කුරුඳු භූගෝලීය දර්ශක සංගමය, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය හෝ වෙනත් ආයතන මගින් පැවැත්වෙන පුහුණු සැසි සඳහා සහභාගී වන්න. මාර්ගෝපදේශ සංග්‍රහය සංගමය වෙතින් හෝ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වෙතින් ලබාගන්න. එම උපදෙස් වලට අනුකූල වන පරිදි ඔබේ පිරියත සකස් කරගන්න.

  • වාර්තා තබා ගැනීම සහ අනුරේඛීයතාව පවත්වාගැනීම

ඉඩම් සකස් කිරීමේ සිට අස්වනු නෙලීම සහ සැකසීම දක්වා සියලු ගොවිතැන් කටයුතු පිළිබඳ සවිස්තර වාර්තා පවත්වාගෙන යන්න. වැඩිදුර තොරතුරු සඳහා ගොවිපොළ දත්ත කළමනාකරණය පරිච්චේදය කියවන්න. තවාන්, කුරුඳු සැකසුම් ඒකක ඇතුළු අනෙකුත් සියලු අදියර වලදී ලැබෙන උපදෙස් හා මාර්ගෝපදේශයේ සඳහන් පරිදි දත්ත පවත්වාගෙන යන්න.

තවද අනුරේඛීයතාව පවත්වාගැනීමට නම් අගයදාමයේ එක් එක් පුරුකට අදාලව රැස් කරන දත්ත එකිනෙකට සම්බන්ධ කිරීමේ හැකියාව තිබිය යුතුය

  • ස්වයං විගණනය 

ඔබේ පිරියත අනුකූල වන පරිදි සකස් කරගෙන ඔබ විසින්ම සිදු කරනු ලබන ස්වයං විගණනයක් සිදු කර වාර්තාව සමඟ අභ්‍යන්තර විගණනය සිදු කිරීමට ඉල්ලුම් කරන පෝරමය සම්පූර්ණ කර සංගමය වෙත භාරදෙන්න.

  • අභ්‍යන්තර විගණනය 

ශ්‍රී ලංකා කුරුඳු පිළිබඳ භූගෝලීය දර්ශක සංගමයේ පුහුණුව ලත් විගණන කමිටුවක් මගින් ඔබේ පිරියත පරීක්ෂා කර බලා අනුකූලතාවය පිළිබඳව වාර්තාවක් අපනයන සංවර්ධන මණ්ඩලය හා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබාදෙනු ඇත. අනුකූලතා සම්පූර්ණ වී නැතිනම් පිළිබඳව ඔබ වෙත දැනුම්දෙන අතර එම අවශ්‍යතා සම්පූර්ණ කර කෙරෙන ලිඛිත දනුම්දීමකින් පසු දෙවන අභ්‍යන්තර විගණනය සිදු කරනු ඇත.

  • බාහිර විගණනය 

අභ්‍යන්තර විගණනයෙන් සමත්වන පිරියත කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ බාහිර විගණන අංශය මගින් පරීක්ෂා කර බලා වාර්තාවක් අපනයන සංවර්ධන මණ්ඩලය වෙත ලබාදෙනු ඇත. අනුකූලතා සම්පූර්ණ වී නැතිනම් පිළිබඳව ඔබ වෙත දැනුම්දෙන අතර එම අවශ්‍යතා සම්පූර්ණ කර කෙරෙන ලිඛිත දනුම්දීමකින් පසු දෙවන බාහිර විගණනය සිදු කරනු ඇත.

  • සහතික ලබාදීම

බාහිර විගණන වාර්තාව අනුව ප්‍රධාන අනුකූලතා (Major Compliance) 100% ක් හා සුළු අනුකූලතා (Minor Compliance) 50% හෝ ඊට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කර ඇතිනම් අපනයන සංවර්ධන මණ්ඩලය වෙතින් ඔබට භූගෝලීය දර්ශක සහතිකය නිකුත් කරනු ඇත.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact