කුරුඳු වල අතීතය ක්‍රි.පූ 1400 තරම් ඈතට දිව ගියත්, ශ්‍රී ලංකා කුරුඳු පිළිබඳ පැහැදිලි සහ ලිඛිත සාක්ෂියක් හමු වන්නේ 10වන සියවසෙහි අග භාගයෙහි බුර්සුග් ඉබ්න් ශහ්රියා ගේ “අජාඉබ් අල් හින්ද්” නම් ග්‍රන්ථයෙහිය. කෙසේ වෙතත්, පෘතුගීසි ජාතික ඉතිහාසඥ දියෝගෝ දො කෝටෝ ගේ ප්‍රකාශය අනුව, ක්‍රි.ව. 1236 – 1270 කාලයේ සිරි ලක රජ කළ මහා පරාක්‍රමබාහු රජ සමයේ පවා, මෙරට බහුල වූ කුරුඳු වල ගුණය ගැන ලෝකය දැන සිට ඇත.

වනගතව වැවුණු කුරුඳු කපා, සකස් කර පිට රට යවන ක්‍රමයෙහි සිට, ක්‍රමානුකූල කුරුඳු වගා කොට අස්වැන්න ගැනීමට මාරු වීමට පළමුවරට උත්සාහ කළේ ලන්දේසීන් ය. ලන්දේසි ආණ්ඩුකාර විලියම් ෆැල්ක් (1765 – 1785), කොළඹ පුරවරයෙහි පළමු පර්යේෂනාත්මක කුරුඳු වගාව ඇරඹීය. කුරුඳු, වාණිජව වගා කළ නොහැකි ශාකයකි යන අදහස බිඳ දමමින් මෙම වගාවන් සාර්ථක වූ අතර, පසුව ලංකාවේ පාලනය භාර ගත් ඉංග්‍රීසින්, මෙම වගාව ව්‍යාප්ත කළහ. ඒ අනුව 1799 වන විට, ෆ්‍රෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා සතුව, කොළඹ සහ මීගමුවෙහි හොඳම කුරුඳු වතු තිබිණි. 1850 වසර වන විට ලංකාවේ කුරුඳු වපසරිය අක්කර 40,000ක් පමණ විය.

කෙසේ වුවත් නිදහසට පෙරත් ඊට පසුත්, 70 දශකය වන තුරු වාණිජ වගාවක් ලෙස කුරුඳු සඳහා සැළකිය යුතු සහයක් ලැබී නොතිබිණි. එම දශකය තුළ කුරුඳු සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව යටතට පත් කරන ලද අතර, පසුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ කුරුඳු සඳහා පර්යේෂණ සහ ව්‍යාප්ති සහය ලබා දෙන ලදී. මේ අනුව, තිහගොඩ, ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය පිහි‍ටුවන ලද අතර, කුරුඳු වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් කාර්යාල හරහා කුරුඳු සඳහා අවශ්‍ය ව්‍යාප්ති සේවය ලබා දෙන ලදී. 

රජයේ සහය යටතේ, 2022 වසර වන විට ලංකාවේ කුරුඳු වගාව හෙක්ටයාර 36506ක පැතිර තිබූ අතර, වසරකට කුරුඳු  ටොන් 18,300ක් අපනයනය කිරීමෙන් රුපියල් මිලියන 71716ක් පමණ උපයන තත්ත්වයට පැමිණ තිබිණි.

කුරුඳු යනු, තේ, රබර් සහ පොල් වැනි ප්‍රධාන අපනයන භෝග යටතේම ගිණිය හැකි, වැදගත්කමින් ඉතාම ඉහළ සහ විශාල විභවයක් සහිත නමුත් ඌණ භාවිතයක් පෙන්නුම් කරන හෙයින්, එහි උපරිම විභවය රටට වැඩදායක ලෙස ලබා ගැනීම අරමුණු කරගෙන 2023 වසරෙහි  අගභාගයෙහි කුරුඳු සඳහාම වෙන්වූ දෙපාර්තමේන්තුවක් රජය විසින් පිහි‍ටුවන ලදී.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, කුරුඳු බෝගයෙහි පර්යේෂණ, ව්‍යාප්ති, වාණිජ සහ නීතිමය ආදී සියළු පැතිකඩවල් සඳහා වගකීම දරණ රාජ්‍ය ආයතනයක් ලෙස අනෙක් සියළු අදාළ ආයතන සමඟ ශ්‍රී ලංකාවෙහි කුරුඳු කර්මාන්තයෙහි දීර්ඝකාලීන තිරසාර උන්නතිය සඳහා කැප වී ඇත.

ශ්‍රී ලාංකික කුරුඳු ක්ෂේත්‍රයෙහි අනාගතය සරු කිරීමට අප ගෙන ඇති පියවර පිළිබඳ වැඩි විස්තර සඳහා අප වෙබ් අඩවියට පිවිසෙන්න.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact