ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය

පිහිටීම  – ජාතික කුරුඳු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානය, කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන, කුරුඳු සඳහාම වෙන් වූ ශ්‍රී ලංකාවේ එකම පර්යේෂණ මධ්‍යස්ථානයයි. ලෝක මට්ටමෙන් සැළකුවද, සත්‍ය කුරුඳු සඳහා වෙන් වූ එකම සහ පැරණිතම පර්යේෂණ මධ්‍යස්ථානය මෙය ලෙස සැළකේ. දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ, පලොල්පිටිය, තිහගොඩ, අක්කර 22ක භූමි භාගයක මධ්‍යගතව මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත.

පර්යේෂණ අංශ ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයෙහි, පර්යේෂණ අංශ හතරක් සහ පුහුණු අංශයක් පවතී:

  1. ශෂ්‍ය විද්‍යා හා භෝග වැඩිදියුණු කිරීමේ අංශය:
  • නව කුරුඳු ප්‍රබේද අභිජනනය කිරීම
  • තවාන් පාලනය පිළිබඳව සහ කුරුඳු බෝගයේ ශෂ්‍ය විද්‍යාව පිළිබඳ පර්යේෂණ කටයුතු
  • ශ්‍රී ලංකාවේ විශාලතම සහ ප්‍රමුඛතම ජාන එකතුව පවත්වාගෙන යාම
  • ශ්‍රී ගැමුණු’ සහ ‘ශ්‍රී විජය’ නව කුරුඳු ප්‍රබේද පැල නිෂ්පාදන

 

2. පාංශු විද්‍යා සහ ශාක පෝෂණ අංශය:

  • කුරුඳු වගාවට අදාළ සියළු පාංශු විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘති
  • නව පොහොර වර්ග සහ කාබනික කුරුඳු වගාවට නිර්දේශ
  • කුරුඳු ඉඩම් පරීක්ෂාව සහ පාංශු තත්ත්වයන් පිළිබඳ නිර්දේශ
  • පස් සහ පොහොර සාම්පල පරීක්ෂා කර වාර්තා ලබා දීම

 

3.ශාක ආරක්ෂණ අංශය:

  • වගාවට හානි කරන පළිබෝධ සහ රෝග පිළිබඳ පර්යේෂණ
  • ක්ෂේත්‍ර පරීක්ෂා සිදු කිරීම
  • නව පළිබෝධ මර්ධන නිර්දේශ
  • රෝග සහ පළිබෝධ හඳුනාගැනීම සහ වාර්තා සැපයීම

 

4. පසු අස්වනු තාක්ෂණ අංශය:

  • නිවැරදි තාක්ෂණයෙන් යුතුව අස්වනු ලබා ගැනීම
  • අස්වැන්න සකස් කිරීම, ගබඩා කිරීම, අගය එකතු කළ නිෂ්පාදන
  • තෙල් වර්ග නිස්සාරණය, අපනයනය සඳහා ප්‍රමිතීන් සහ සහතිකකරණය
  • ISO 17025:2018 ප්‍රතීතණය සහිත විද්‍යාගාරයෙන් කුරුඳු සහ එහි නිෂ්පාදන වල ප්‍රමිතියට අදාල පරාමිතීන් සහ කුරුඳු තෙල් සංඝටක විශ්ලේෂණය

 

පුහුණු වැඩසටහන් සහ ඉගෙනුම් අවස්ථා: 

වාර්ෂිකව ඉතා විශාල පිරිසක් ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය වෙත සම්බන්ධ වී, තම සේවා අවශ්‍යතා සපුරා ගනී. විශ්ව විද්‍යාල සහ කෘෂිකර්ම විද්‍යාල ආදී උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම ආයතනයෙහි ප්‍රායෝගික, සේවාස්ථ පුහුණු වීම් සහ පර්යේෂණ කටයුතු වල නිරත වෙති. වෙනත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් කුරුඳු ආශ්‍රිත තම කර්මාන්ත සඳහා හෝ නව කර්මාන්ත ඇරඹීම සඳහා අවශ්‍ය දැනුම ලබා ගැනීමටත්, ආයතනයෙහි පුස්තකාලය පරිශීලනය කිරීමටත්, ආයතනයට පැමිණ හෝ දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වෙයි.

මෙම පර්යේෂණ මධ්‍යස්ථානයට අනුබද්ධව පිහි‍ටුවා ඇති පුහුණු මධ්‍යස්ථානය සහ නේවාසිකාගාරය හරහා කුරුඳු භෝගයෙහි මූලික අවධියේ සිට අපනයනය දක්වා ඕනෑම සහ සියළුම අවස්ථා සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් 15ක් පමණ ක්‍රියාත්මක වේ.

වෙනත් සේවාවන්

  • අංග සම්පූර්ණ කුරුඳු තෙල් නිස්සාරණ ඒකකයක්
  • නවීන පහසුකම් යටතේ පවත්වාගෙන යන සංචාරක බංගලාවක්

ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය කුරුඳු කර්මාන්තයේ පර්යේෂණ, පුහුණු, සහ සංවර්ධන කටයුතු සඳහා අත්‍යවශ්‍ය භූමිකාවක් ඉටු කරමින්, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ කුරුඳු කර්මාන්තයේ උසස් ප්‍රමිතීන් රැක ගැනීමට සහ වර්ධනය කිරීමට විශාල දායකත්වයක් ලබා දෙයි.

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණියේ පිහිටුවා ඇත. දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රධාන ව්‍යාපෘති අතර ගාල්ල පින්නදූව Cinnamon Gate ව්‍යාපෘතිය ද වේ

Quick Links

Contact